දෙමටගොඩ ධාවනාගාරයට අවුරුදු 110යි.


1864 දී ශ්‍රී ලංකාවේ ඇරඹෙන දුම්රිය සේවය අවුරුදු 154කට වඩා වැඩි කාලයක් තුල අඛණ්ඩ සේවාවක් සමස්ථ මගී ජනතාව වෙනුවෙන් සිදුකරමින් සිටිනවා. එ⁣කී සේවාවන් තුල ධාවනයට යොදවන දුම්රිය එංජින් නඩත්තු කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු ප්‍රමුඛතම ධාවනාගාරය බවට දෙමටගොඩ ධාවනාගාර පත්වෙනවා . 1907 වසරේදී පමන ඉදිකිරීම් කටයුතු ඇරඹෙන දෙමටගොඩ ධාවනාගාරය දුම්රිය සේවයට එක් වන්නේ මීට වසර 110 පෙරයි. එනම් 1909 මාර්තු මස 09 වැනිදායි. ඒ දවස්වල ධාවනයට එක් කල තිබූ පුලුල් ආමාන හා පටු ආමාන යන දෙවර්ගයටම අයත් වන වාශ්ප දුම්රිය එන්ජින්වල දෛනික නඩත්තු ගමන්වාර සදහා සැකසීම ආදී සියල්ල සිදුකර ඇත්තේ දෙමටගොඩ ධාවනාගාරය තුලදීයි.

වාශ්ප එංජින් වල කර තිබූ නඩත්තු පිලිබඳව කරැණු රැස්කරන විට විට අපද පුදුමයට පත්වුනෙමු. එයට හේතුව වූයේ එකල තිබූ තාක්ෂණය හා පහසුකම් සමග වාශ්ප එංජින් වෙනුවන් සිදුකර තිබූ සේවය පිලිබඳවයි. ධාවනයට යොදවන වාශ්ප එන්ජින් සදහා ගල් අඟුරු පැටවීමත් ගල්අඟුරු ගබඩා කර තබාගැනීමට වෙනම ස්ථානයක් එකල ධාවනාගාරයේ ස්ථාපිත කර තිබූ අතර අදවන වන විට එම ස්ථානය පැරණි අඟුරු මඩුව ලෙස හදුන්වනු ලැබේ. එසේම බොයිලේරු වලට වතුර පිරවීමේ ස්ථානයක්ද ඊට ආසන්නයේ සකසා ඇත. බොයිලේරු වල සිදුවන දෝෂ සකස්කිරීම සදහා එම බොයිලේරු දුම්රිය එංජිමෙන් ගැලවීමට දොඹකරයක්ද ධාවනාගාරයේ සකසා තිබුණි.

රෝද බොගි හා ඇක්සල නඩත්තුවද එකල සිදුකල තවත් කටයුත්තකි. එම ස්ථානයේ ඇති උපකරණ වර්ථමානයේ සේවයේ පවතින B2b 251, B1d 340 එංජින් හා වාශ්ප දොඹකර නඩත්තුව සදහාද යොදාගැනු ලැබේ. ධාවනාගාරයෙහි ඇති තවත් ඇසගැටෙන ස්ථානයක් ලෙස වාශ්ප එංජින් සදහා උණුසුම් ජලය සැකසූ බොයිලේරුව හැදින්විය හැකිය. ධාවනයෙන් පසු පැමිනෙන එංජින් පරීක්ෂා කර නැවත සේවයට යෙදවීමට සකස් කිරීමේදී සැලකිය යුතු වේලාවක් ගතවන අතර බොහෝවිට බොයිලේරුවේ ජලය ඉවත්කර නැවත ජලය පුරවා ක්‍රියාකාරී උෂ්ණත්වයට පත්කර ගැනීමට පැය ගනනින් වැය කිරීමට සිදුවෙයි.

එයට පිලියමක් ලෙස ජලය උණුසුම්ව තබා ගන්නා බොයිලේරුවක් දෙමටගොඩ ධාවනාගාරයේ ස්ථාපිතව තිබූ අතර අඩු කාලයකදී වාශ්ප දුම්රිය එංජිමට එම ජලය පොම්ප කර ක්‍රියාකාරී උෂ්ණත්වය ලබා ගැනීමට කටයුතු සිදු කර තිබුණි. එසේම මෙම බොයිලේරු සදහා ජලය රැස්කර තබා ගැනීම සදහා සැකසූ ජල ටැංකි පද්ධතියක් ධාවනාගාරය තුල අදටත් දක්නට ඇති අතර එමගින් මාලිගාවත්ත අංගනයේ හා ධාවනාගාරයේ එදිනෙදා කටයුතු සදහා මේ වන විටත් යොදාගනු ලැබේ. කිසිදු දිනෙක සිදී නොයන ලිං තුනක් මෙම ජල ටැංකි සදහා ජලය ලබාගත් දෙමටගොඩ ධාවනාගාරය සතුව පවතී. එම ලිං 3හි ජල මූලාශ්‍ර කැලණි ගග හා සම්බන්ධ බව ජනප්‍රවාදයේ පවතී

දෙමටගොඩ ධාවනාගාරයේ අදටත් ක්‍රියාකාරී තත්වයේ ඇති අනෙත් ස්ථානය වන්නේ සංයුක්ත හැරවුම් මේසයයි (Combination Turn Table) මෙහි නම ඇසූ පමනින් යම් කිසි කුතුහලයක් අපහට ඇති වන්නේ සංයුක්ත යන වචනය නිසාවටයි. එයට හේතුව වන්නේ පුලුල් ආමාන හා පටු ආමාන යන දෙවර්ගයේම වාශ්ප එංජින් හා ඩීසල් එංජින් හැරවිය හැකි දැනට අප සතුව ඇති එකම හැරවුම් මේසය මෙය වීමයි. මෙි වන විට පටු ආමාන (Narrow Line) දුම්රියන් නොමැති නිසා මෙහි එම මාර්ගය ගලවා ඉවත් කර ඇතත් අවශ්‍ය විටෙක එම මාර්ගය සකසා එංජින් හැරවීමේ හැකියාව මෙම හැරවුම් මේසය සතුවේ. එමෙන්ම වැඩිම මාර්ග ගනනකින් හැරවුම් මේසකට පැමිනීමේ හැකියාව ඇති එකම හැරවුම් මේසය වන්නේද දෙමටගොඩ ධාවනාගාරය තුල ඇති මේ හැරවුම් මේසයයි.

අතීතයේ සි⁣ට මෙරට ගෙන්වන ලද එංජින්, මැදිරි, ගැල් හා ටැංකි ආදියේ ස්කන්ධයන් නිවැරැදිව බලා ගැනීමට ඇති ස්ථානය හෙවත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු තරාදිය පිහිටා ඇත්තේද දෙමටගොඩ ධාවනාගාරය සතුවයි. එයින් එකවර ටොන් 100 කට ආසන්න බරක් එම ස්ථානයේදී බලා ගැනීමේ හැකියාව අදටත් ඇත. එසේම ක.ශා 26 තුල සිදුකරන ජලවාෂ්පයෙන් ඉන්ධන ටැංකි පිරිසිදු කිරීම සදහා අවශ්‍ය වාශ්ප අදටත් ලබා දෙන්නේ දෙමටගොඩ ධාවනාගාරයේ ඇති බොයිලේරුව මගිනි. මුල් කාලයේ සිට වාශ්ප එංජින් පමනක් නඩත්තු කටයුතු කල දෙමටගොඩ ධාවනාගාරයට පටු ආමාන මාර්ගයේ ඩීසල් එංජින් නඩත්තු කටයුතු සිදුකිරීමද පැවරෙනවා,

පසුව 1953 හා 1954 කාලයේ ගෙන්වන ලද M1 ඩීසල් එංජින් ද 1954 ගෙන්වන ලද M2 එංජින්වල නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේද මෙම ධාවනාගාරය මගිනි. මරදාන ඩීසල් විදුලි ධාවනාගාරය (ELS) ගොඩනැගීමත් සමග පටුආමාන ඩීසල් එංජින් හා M1 එංජින් හැර අනෙකුත් සියලුම ඩීසල් එංජින්හි නඩත්තු කටයුතු එම ධාවනාගාර වෙත පැවරෙනවා, නැවතත් 1999-12-07 වන දින ද්විපහර V12 එංජින් ඛාණ්ඩයන් වන M2, M6 එංජින් සමග කාර්යමණ්ඩලයක් දෙමටගොඩ ධාවනාගාරයේ සේවයට පැමිනෙනවා. 2009 වසරට යෙදී තිබුන දෙමටගොඩ ධාවනාගාරයේ ශත සංවත්සරය නිමිතිකර ගනිමින් ද්විපහර එංජින් වර්ගයට අයත් M7 ඛාණ්ඩයද ධාවනාගාරයට එක් වනවා, එදා සිට මේ දක්වා කන්ද උඩරට සිය අනසක පැතිරූ දුම්රිය එංජින් ඛාණ්ඩයන් ජීවියදුන් නිවහන වන්නේ දෙමටගොඩ ධාවනාගාරයයි.

එකී කන්ද උඩරට අභිමානයට අලුත් අත්දැකීම් එක් කරමින් වෙනස් සගයකු 2012 වසරේ අගෝස්තු මාසයේදී පැමිනෙනව, චීනයේ නිශ්පාදිත S12 එංජින් ඛාණ්ඩයට අයත් බලවේග කට්ටල ඒ අතර වනවා.ශ්‍රී ලංකාවේ දෛනික දුම්රිය ගමන් වාරයන් වල කාගේත් සවනේ රැදුණු මෙන්ම වැඩිම ගමන්වාර ප්‍රමානයක් සදහා දායකත්වය සපයන්නේ දෙමටගොඩ ධාවනාගාරයයි. ඒ සදහා M2 එංජින් 13ක්, M6-14ක්, M7-14 හා S12-19 සේවයේ යෙදවීමට දෛනික නඩත්තු සිදුකරනු ලබනව. ඊට අමතරව වායුසමනය කරන ලද මැදිරි S12 ඛාණ්ඩයේ දෙවන හා තුන්වන පන්තියේ මැදිරි නඩත්තුව හා අලුත්වැඩියාවන් සිදුකරන්නේද මෙහි කාර්ය මණ්ඩලයයි.

දෛනිකව කන්කසන්තුරය වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය, පොඩි මැණිකේ දුම්රිය (බදුල්ල), උදයදේවී දුම්රිය (මඩකලපුව), මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය, පුත්තලම මිශ්‍ර දුම්රිය, උඩරට මැණිකේ දුම්රිය (බදුල්ල), බදුල්ල සීඝ්‍රගාමි දුම්රිය, මාතලේ දුම්රිය, ගාලුකුමාරි දුම්රිය (මාතර), ගාල්ල තැපැල් දුම්රිය, මීනගයා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (මඩකලපුව), බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ආදී දුර ගමන් සේවා රැසකටද, කටුනායක තෙල් දුම්රියන්, මඩකලපුව, ගාල්ල තෙල් දුම්රියන් හා විවිධ සේවා දුම්රියන් සදහාද, ⁣කාර්යාල දුම්රියන් වෙනුවෙන්ද ඉමහත් සේවයක් මෙම ධාවනාගාරය තුලින් සැලසෙයි. හදිසි ආපදාවකදී සේවය සලසන 5841 වාශ්ප දොඹකරයේ භාරකාරත්වය හිමිවන්නේද දෙමටගොඩ ධාවනාගාරයි.
වසර 110 පුරාවට පරම්පරා ගනනාවක් සදහා සේවය සැලසූ, දුම්රිය ගොඩනැගූ දෙමටගොඩ ධාවනාගාරය මතුවටත් දුම්රිය සේවයේ උන්නතිය උදෙසා සේවය ලබා දෙන කීර්තිමත් ස්ථානයක් බවට පත්වේවා.
සටහන හා ඡායාරූප : දුම්රියේ ලිපි සටහන්කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *