සුද්දවත් පුදුම කරවපු ආරුක්කු නවයේ පාළම

කෝච්චියෙන් කොළඹ ඉදල බදුල්ලෙ යද්දි උඩරට දුම්රිය මාර්ගයේ එදා මෙදා තුර දක්නට ලැබෙන විශිෂ්ඨතම නිර්මාණයන් දක්නට ලැබෙන්නේ ඇල්ල සහ දෙමෝදර අතරයි. එ් ඇල්ල ආරුක්කු 9 පාලම සහ දෙමෝදර රේල් ගැටයයි. මෙහි ඉතිහාසය ජනප්‍රවාද කීපයකින් සටහන් වෙද්දි, සත්‍යය ඉතිහාසය විසින් භාරගෙන තිබෙනව. ඇසට ප්‍රියකරු වූ දකින්නන් මවිත වන මේ සොදුරු නිර්මාණය පිලිබද සටහනක් මේ විදිහට ඉදිරිපත් කරන්න කැමතියි. 1864 ඇරඹෙන පලමු දුම්රිය ගමනින් පසු භාණ්ඩ ප්‍රවාහනය මුල් කර ගනිමින් (විශේෂයෙන් වැවිලි කර්මාන්තට අදාලව) උඩරට දුම්රිය මාර්ගය විටෙන් විට බදුල්ල දක්වා නිර්මාණය උනා.

ඒ අනුව 1894 වන විට බණ්ඩාරවෙල දක්වා සකස් වන දුම්රිය මාර්ගය, 1913 දී බදුල්ල දක්වා නිම කිරීමට කටයුතු ඇරඹෙනව. මාර්ගයේ කටයුතු එලෙස ඇල්ල දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට ඇදෙනවිට කොළඹ සිට සැතපුම් 169 පසුවෙද්දී කඳු ගැටයක් හා අඩි 100 පමන ප්‍රපාතයකින් අඩි 300කට වඩා වැඩිදුරකට එතෙර වීමට ඇති ජල මාර්ගයක් සහිත ස්ථානයක් හමුවනවා. එයට පිලියම වන්නේ එතැනට ගැලපෙන පාලමක් තැනීමයි. මේ සදහා සකස් කලයුතු පාලම සැකසීම භාරවන්නේ ඒ වන විට එංගලන්තයේ දුම්රිය මාර්ග හා ආරුක්කු පාලම් සදහා විශේෂඥ දැනුමක් හිමිව සිටි හැරල්ඩ් කුත්බර්ට් මාවුඩ් නම් ඉංජිනේරුවාටයි.

සාමාන්‍යයෙන් පාලමක් සැකසීමේදී යොදා ගන්නා මූලික අමුද්‍රව්‍යය වන යකඩ දඬු සපයා ගැනීමට නොහැකිවීම මෙම ව්‍යාපෘතියේ වූ විශේෂ සිද්ධියකි. එයට හේතුව ලෙස ඉතිහාසය සදහන් කරන්නේ ඇල්ල හා දෙමෝදර අතර පිහිටි මෙම ස්ථානයට පැමිනීමට හා භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු මාර්ගයක් නොතිබීම හා එවකට පලවන ලෝක යුද්ධය ක්‍රියාත්මකවීම නිසා යකඩ හිගයක් ඒ වන විට මතුව තිබීමයි. දේශීය නිර්මාණයකරුවන් ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව එකඳු යකඩ දණ්ඩක් නොමැතිව ගඩොල් හුණු බදාම හා සිමෙන්ති භාවිතයෙන් පමනක් නිර්මාණය කල ලෝප්‍රකට නිර්මාණය ලෙස ආරුක්කු නවය පාලම ඉතිහාසයට එක්වනව.

උසින් අඩි 100ක් හා දිගින් අඩි 300ක් පමන වන වක්‍රාකාර හැඩයකින් නිමැවුණු මෙම පාලම විදේශීය ඉංජිනේරු ඥානයට නොදෙවෙනි වූ දේශීය ඉංජිනේරුවන් හා නිර්මාණයකරුවන්ගේ දැඩි කැපවීම තුල පාලමේ වැඩකටයුතු සම්පූර්ණයෙන් නිමකෙරුනි. එනමුත් මෙම පාලම මතින් දුම්රියක් ධාවනය කිරීම පිලිබදව සුදු ඉංජිනේරුවන්තුල බියක් හටගත් අවස්ථාවේ පී.කේ අප්පුහාමි නැමති නිර්මාණකරුවා පාලම යටට ගොස් දුම්රිය ධාවනය කරන ලෙස පවසා පාලමේ කණු අතර ප්‍රදේශයේ බිම නිදාගෙන සිට ඔවුන්ගේ සැකය දුරුකල බවද ජනප්‍රවාදයේ සදහන්ව ඇත. අදවන විටත් (රට සාමාන්‍ය තත්වයෙන් පවතින අවස්ථා වලදී) දෛනිකව නියත වශයෙන්ම දුම්රියන් 10ක් මෙම ආරුක්කු නවයේ පාලම මතින් ධාවනයවේ. දෙස්විදෙස් කාඅතරිත් සිත් ඇදගන්නා සුලු මෙම අපූරු නිර්මාණය මතුපරපුර උදෙසා රැකගනීම උඹ අප කාගේත් යුතුකමයි.

සටහන – කසුන් ශාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *