ෆ්ලෑෂ්බැක් රොෂාන් ගොඩගියේ කබල් සෙරෙප්පු දෙකකින්

කටුනේරිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගත්ත රොෂාන් ප්‍රනාන්දු දුප්පත් පවුලක ඉපදුන හැඩකාර දගකාර කොල්ලෙක්. රොෂාන් ඉස්කෝලේ යන කාලෙ රොෂාන්ගෙ පන්තියේ අනිත් ළමයි හැමෝම සපත්තු දාගෙන යනකොට රොෂාන් ගියේ කබල් සෙරෙප්පු දෙකක් දාගෙන. රොෂාන්ගෙ අම්මලට මහලොකුවට සල්ලි තිබුනේ නෑ සපත්තු දෙකක් වත් අරන් දෙන්න. හැබැයි රොෂාන් කවදාවත් සපත්තු දාගෙන ආපු ළමයින්ට ඊරිසියා කලේ නෑ. ඔහු හිතට දැඩි අධිෂ්ඨානයක් ගත්තා කොහොම හරි මහන්සි වෙලා වැඩ කරලා තැනකට එනවා කියලා. අන්න ඒ අධිෂ්ඨානය තමා දැන් සාර්ථක වෙලා තියෙන්නෙ.

කවදාවත් කෙනෙක්ට ඉරිසියා කරන්න එපා, මහන්සිවෙලා කරන වැඩේ හරියට කරන්න අනිවාර්යෙන්ම දිනනවා ඒකෙ දෙකක් නෑ කියලා රොෂාන් දිහා බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් දැන් සමහර අය කතා කරනවනේ රොෂාන් ප්‍රනාන්දු දාන සපත්තු හරිම ගණන් ඇඳුම් හරිම ගණන් ගේ මාලිගාවක් වගේ, සුපිරිම කාර් එකක් තියෙන්නෙ පරම්පරාවකට හම්බකරලා තියෙන්නෙ කිය කියා. මේ ඔක්කොම නිකන් අහසින් කඩන් වැටුණෙ නෑ. මහන්සි වෙලා කට්ට කාල තමා රොෂාන් හැමදේම හරිහම්බ කලේ. රොෂාන්ගෙ ඇඟේ පොඩිකාලෙ ඉඳලා සංගීතෙ තිබ්බා. කොයිවෙලේ බැලුවත් පෑන් දෙකක්, කෝටු දෙකක් අත් දෙකට අරන් තට්ටු දදා හිටපු අතීතයක් තියෙනවා රොෂාන් ප්‍රනාන්දු කියන දක්ෂ ඩ්‍රම්ස් වාදකයා පිටිපස්සේ. රොෂාන්ගෙ තාත්තා, ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයා සෑහෙන කාලයක් මේ දිහා බලාගෙන හිටියා.

පුතාට ඩ්‍රම් සෙට් එකක් අරං දෙන්න ඕනැ කියලා කටින් නොකිව්වට ඩොනල්ඩ් මහත්තයගෙ හිතේ සෑහෙන කාලයක් තිස්සේ තිබුණා ගෙදර අගහිඟකම් අස්සෙ ඩ්‍රම් සෙට් එකක් ගේන එක හීනයක් වගේ හින්දයි තාත්තා සද්ද නැතුව බලං හිටියෙ. කොහොමෙන් කොහොම හරි රොෂාන්ගේ තාත්තා දවසක් ඩ්‍රම් සෙට් එකක් ගෙනල්ලා දීලා රොෂාන්ව පුදුම කරවනවා. තාත්ත ගෙනත් දීපු ඩ්‍රම් සෙට් එකේ වාඩි වෙච්ච රොෂාන් ඒ කාලෙ සංගීත කණ්ඩායම්වල ජනප්‍රිය ඩ්‍රම්ස් වාදකයන් දිහා බලාගෙන තනියම ඩ්‍රම්ස් වාදනයේ යම් යම් දේවල් ඉගෙනගත්තා. ඩ්‍රම්ස් වාදනය ශිල්පීය දක්ෂතාවයක් විදිහට වැඩිවර්ධනය කරගන්න ගුරුවරයෙක්ගෙ ගුරුහරුකම් ලබාගන්න අර්නි පීරිස් ගුරුතුමා ගාවට රොෂාන් ගියා ඩ්‍රම්ස් වාදනය ඉගෙනගන්න.

ඩ්‍රම්ස් ගහන පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයා කල්පනා කලා තමන්ගෙ පුතාගෙ හැකියාව රටටම අරගෙන යන්න ඕනෑ, සංගීත කණ්ඩායමක් හදන්න ඕනෑ කියලා. එහෙම කල්පනා කරලා 1991 ඔක්තෝබර් පළවෙනිදා ෆ්ලෑෂ්බැක් නමෙන් ඩ්‍රම්ස් ගහන රොෂාන් පුතාගෙ නායකත්වයෙන් ඩොනල්ඩ් ප්‍රනාන්දු තාත්තගෙ කළමනාකාරීත්වයෙන් ඔයාල කවුරුත් දන්න ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම නිර්මාණය වෙනවා. කිංස්ලි පීරිස් තමයි රොෂාන් ඇරුණාම ෆ්ලෑෂ්බැක් එකේ පරණම සාමාජිකයා. ෆ්ලෑෂ්බැක් ආරම්භක ප්‍රසංගෙ කටුනේරිය උපන් ගමේම තමා පැවැත්වුණේ.

රොෂාන්ලා ගමේ කොල්ලො කුරුට්ටො එක්ක ගම වටේ ගිහිල්ලා අනුග්‍රාහකයො හොයලා, පොල් කොටන් කපල උස්සන් ඇවිත් පොඩියට ස්ටේජ් එකක් ගහල තමයි ඒ ප්‍රසංගේ පැවැත්වුවේ. අන්තිමේ ලස්සනට ප්‍රසංගෙ කෙරිලා, ඔක්කොටම අඩුපාඩුවක් නැතුව ගෙවල ගෙවලා බෑන්ඩ් එකේ කොල්ලන්ට කියලා එක රුපියලක්වත් ඉතුරු වුණේ නැහැලු. ෆ්ලෑෂ්බැක් රොෂාන්ට අලුත් දේවල්, වෙනස් දේවල් කරන්න පුදුමාකාර උණක් තියෙනවා. ඒ උණ උණ සන්නිපාතයක් වෙන්න ආපු නිසයි ෆ්ලෑෂ්බැක් අද ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම විදිහට ක්ෂේත්‍රයේ උඩින්ම ඉන්නේ. ෆ්ලෑෂ්බැක් හැමදාම Fashion වලින්, Sounds වලින් light වලින් ගීත වලින් නිතරම වෙනසක් කරනව.

ඉස්සර කාලෙ නිකක් T Shirt කෑලි ගහගෙන ප්‍රසංග වේදිකාව උඩට හැමෝම ගොඩවෙද්දි ඒක වෙනස් කරල ලස්සන ෆුල් කිට් එකල් ඇදල ප්‍රසංග වේදිකාවට ගොඩවුනේ මුලින්ම ෆ්ලෑෂ්බැක් තමයි. ඒ වගේම වේදිකාව උඩ වෙනම වේදිකාවක ඩ්‍රම්ස් වාදකයට වෙනම ඉඩක් මුලින්ම වෙන්කලේ රොෂාන්ගෙ අදහකට අනුව. සංගීත කණ්ඩායමක් විදිහට රසික ආදරය දිනාගත්ත තමන්ගේම ගීත ගොඩාක් ෆ්ලෑෂ්බැක්ලට තියෙනවා. ෆ්ලැෂ්බැක්ලගෙ සිංදු කැසට් / සීඩී ඒ කාලෙ උණු කැවුම් වගේ විකිණුනා. නොන්ස්ටොප් රැල්ලෙ කැසට් / සීඩී වලට ෆ්ලෑෂ්බැක්ලා දාපු සෙල්ලම් රසිකයන්ට අදවාගෙ මතකයි. ජනප්‍රිය, ප්‍රවීණ ගායක ගායිකාවන්ගේත් ගීත ඇතුලත් කැසට් / සීඩී වලට ෆ්ලෑෂ්බැක් පසුබිම් සංගීතය සපයලා තියෙනවා.

ෆ්ලෑෂ්බැක්ලා ප්‍රසංග වේදිකාවේදී ආරාධිත ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ගීතවල රසයට හානියක් නොකර හරි රහට වාදනය කරනවා කියලා ලැබෙන ප්‍රශංසා පිටිපස්සෙ තියෙන රහස නිවැරදි නායකත්වයත්, නිවැරදි කළමනාකාරීත්වයත්, කණ්ඩායමේ එකමුතුකමත් කියන තුනේම එකතුව කියන එකේ සැකයක් නැහැ. අලුත් සංගීත කණ්ඩායමකට ෆ්ලෑෂ්බැක් ඉතිහාසයෙන් වර්තමානයෙන් ඉගෙනගන්න කරුණු කාරණා බොහොමයි! ෆ්ලෑෂ්බැක් දින දින දිනේවා කියා සාජ්ජේ අපි ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *